නැගෙනහිර ඇමරිකාව යනු ඇමරිකා එක්සත් ජනපදයේ Atlantic වෙරළෙබඩ ප්‍රදේශය පුරා විහිදී යන විශාල කලාපයකි. New York, Pennsylvania, Ohio, Michigan, Kentucky, Illinois සහ North Carolina වැනි ප්‍රාන්ත එයට අයත් වේ. අද නගර, කර්මාන්තශාලා සහ මාර්ගවලින් පිරුණු මේ භූමිය, කලකට පෙර බයිසන්, elk, වෘකයන් සහ cougars සැරිසැරූ විශාල වනජීවී ලෝකයක් විය.
මීට ටික දවසකට පෙර පළවූ Andrew Mooreගේ The Beasts of the East එම අහිමි වූ ලෝකය සහ එය නැවත ගොඩනැගීමට කරන උත්සාහ ගැන ලියූ පරිසර වාර්තාකරණ කෘතියකි.
කලකට පෙර Illinois සහ Indiana තණබිම්වල බයිසන් රංචු සිටියහ. Ohio සහ Michigan ප්‍රදේශවල විශාල වගුරුබිම් පැවතිණි. North Carolina වනාන්තර සහ වෙරළබඩ වගුරුබිම්වල වෘකයන් ජීවත් වූහ.
එහෙත් කාර්මිකකරණය, අධික දඩයම සහ වනාන්තර විනාශය නිසා මේ සතුන් බොහෝ දෙනා නැගෙනහිර ඇමරිකාවෙන් අතුරුදන් වුහ . ආහාර දාම, තණබිම් සහ වනාන්තර පද්ධතිද වෙනස් විය.
Moore අසන ප්‍රධාන ප්රශ්නය මෙයයි:
මිනිසා විසින් විනාශ කළ වනජීවී ලෝකයක් නැවත ගොඩනැගිය හැකිද?
අද එහි යම් බලාපොරොත්තුවක් පෙනේ. Illinois තණබිම්වල බයිසන් නැවත දක්නට ලැබේ. Kentucky හි අතහැර දැමූ ගල්අඟුරු පතල් අවට elk සතුන් ජීවත් වෙති. North Carolina වගුරුබිම්වල red wolves නැවත ස්ථාපිත කිරීමට උත්සාහයක් තිබේ.
මෙය rewilding ලෙස හැඳින්වේ—අහිමි වූ සතුන් සහ ස්වභාවික පද්ධති නැවත ඔවුන්ගේ පැරණි භූමිවලට ගෙන ඒම යෝජිත උපක්‍රමයයි.
එහෙත් එය පහසු නැත. සතුන්ගේ සංක්‍රමණ මාර්ග දැන් නගර සහ අධිවේගී මාර්ගවලින් කපා ඇත. වෘකයන් නැවත පැමිණෙන විට ගොවීන් කනස්සල්ලට පත්වෙති. සංරක්ෂණවේදීන්, දඩයම්කරුවන්, ජීව විද්‍යාඥයන් සහ ප්‍රදේශවාසීන් අතර එකඟතාවක්ද අවශ්‍ය වේ.
ශ්‍රී ලාංකික අපට මෙය වැදගත් ඇයි?
මෙය ඇමරිකාව ගැන ලියූ පොතක් වුවද එහි ප්‍රශ්න ශ්‍රී ලංකාවටද සමීපය.
අපේ රටේ අලිමංකඩ කපා දමා ඇත. වනාන්තර කොටස් වෙන්වී ඇත. මිනිසා සහ වනජීවීන් අතර ගැටුම් වැඩි වී ඇත. සංවර්ධනය සහ සංරක්ෂණය අතර සමතුලිතතාව සොයාගැනීම අපටද විශාල අභියෝගයකි.
The Beasts of the East අහිමි වූ ස්වභාවික ලෝකයක් ගැන ශෝක වන අතරම, එය නැවත ගොඩනැගිය හැකි බවට බලාපොරොත්තුවක්ද ලබා දෙයි.
මෙය සතුන් ගැන පමණක් නොවේ. මිනිසා ස්වභාවයට නැවත ඉඩ දීමට සූදානම්ද යන්න පිළබදව කෙරෙන විමර්ශනයකි.






