සමහර ලේඛකයන් අපව අලුත් ලෝකවලට රැගෙන යති.
සමහර ලේඛකයන් අපට අමතක නොවන චරිත හඳුන්වා දෙති.
නමුත් කැතී ග්ලාස් කරන්නේ ඊට වඩා වෙනස් යමකි . ඇය අපව රැගෙන යන්නේ බොහෝ දෙනා නොදකින ලෝකයකටය. එය අතහැර දැමුණු, හිංසනයට ලක්වුණු, ආදරය වෙනුවට බිය ඉගෙනගත් දරුවන්ගේ ලෝකයයි.
1950 දශකයේ බ්‍රිතාන්‍යයේ උපන් කැතී ග්ලාස් වෘත්තියෙන් අත්හැර දැමු දරුවන් රක බලා ගන්නියකි (Foster Carer). දශක ගණනාවක් පුරා ඇය සිය නිවසේ රැකබලා ගත් අසරණ දරුවන් සිය ගණනකි. එම අත්දැකීම් පසුව ලෝකය පුරා මිලියන ගණනක් පාඨකයන් කියවන පොත් බවට පත්විය.
ඇයගේ ප්‍රසිද්ධ කෘති අතර Damaged, Cut, Hidden, A Baby’s Cry සහ The Saddest Girl in the World වැනි කෘති විශේෂ ස්ථානයක් ගනී. මේවා සාමාන්‍ය නවකතා නොවේ. සැබෑ ජීවිත අත්දැකීම් ඇසුරින් ගොඩනැගුණු කතාය.
කැතී ග්ලාස්ගේ ලේඛනයේ බලය ඇත්තේ සිදුවීම්වල නොව, හැඟීම්වලය.
දරුවෙකුගේ බිය.
තනිකම.
අහිමිවීම.
අවශ්‍ය වූ විට නොලැබුණු ආදරය.
ඇය මේවා විස්තර කරන්නේ සංවේදී ලෙසය. පාඨකයාට දරුවාගේ ඇස්වලින් ලෝකය දැකීමට ඉඩ සලසමිනි.
බොහෝ විට ඇයගේ පොත් කියවන විට අපට දැනෙන්නේ කතාවක් කියවනවාට වඩා, කෙනෙකුගේ හෘදස්පන්දනයකට සවන් දෙනවා වැනි හැඟීමකි. දරුවන්ගේ වේදනාව පිටුවලින් පිටතට පැමිණ අප වෙත ළඟා වේ. පොත වසා දැමූ පසුවත් එම තරංග හදවතේ බොහෝ වේලාවක් නින්නාද වේ .
ඒ නිසාම කැතී ග්ලාස් හුදෙක් ජනප්‍රිය ලේඛිකාවක් පමණක් නොවේ. ඇය සමාජය නොදකින දරුවන්ට හඬක් දුන් කතන්දරකාරියකි. ඇයගේ පොත් අපට මතක් කර දෙන්නේ ලෝකය වෙනස් කරන්නේ සෑම විටම විශාල වීරයන් නොවන බවය. සමහර විට, එක් දරුවෙකුට සවන් දීමට සූදානම් වූ එක් වැඩිහිටියෙක් සිටී නම් සුවිසල් වෙනසක් සිදුවේ .
කැතී ග්ලාස්ගේ සලකුණ සාහිත්‍යයේ පමණක් නොව, සහවේදනයේ ඉතිහාසයේද නොමැකෙන සලකුණකි .
කැතීගේ සලකුණ
දරුවෙකුගේ නිහඬ හඬක්
පිටුවක් මත තබා ගියාය.
කඳුළක බර වචන කළාය,
බියක අඳුර ආලෝක කළාය.
පොත වසා දැමූ පසුවත්
කතාව නිම නොවෙයි.
හදවතේ කොනක තවමත්
එක පුංචි හඬක් ඇසෙයි.
එය කැතීගේ සලකුණයි—
වේදනාවෙන් සහවේදනය මවන.






