Enjoy free shipping on orders above Rs.3,000! Delivery takes 2-5 working days within Sri Lanka.

සංචාරක සිතියමේ සැඟවුණු නැති එඩින්බරෝ නගරය

සංචාරකයෙක් එඩින්බරෝ නගරයට පැමිණෙන්නේ එහි කඳු, නිම්න සහ ඉතිහාසය දැක බලා ගැනීමටය -අපි ඔහුව X යැයි හඳුන්වමු .

X රාජකීය මාවත ඔස්සේ මාලිගාව දෙසට ඇවිද යයි. ආතර්ස් සීට් කඳු මුදුනේ සිට නගරය නරඹයි. කැල්ටන් හිල් මත සිට පැරණි වහලවල් ඡායාරූපගත කරයි. සියවස් ගණනක මිනිස් පියවර මතකයේ තබාගෙන සිටිනවාක් මෙන් පෙනෙන පටු ගල් මංමාවත් අතර සැරිසරයි.

නගරය පෞරාණිකය. සංස්කෘතිකය. ගාම්භීරය.

එක්වරම වැස්ස ඇදහැලෙයි.

වැස්සෙන් බේරීමට ඔහු කුඩා පොත් සාප්පුවකට ඇතුළු වෙයි. කවුන්ටරය පිටුපස සිටින්නේ කාලගුණයට හුරු වූ මුහුණක් සහ සවස අහස තරම් ගැඹුරු හඬක් ඇති ස්කොට්ලන්ත ජාතිකයෙකි.

“එඩින්බරෝව සැබෑවටම තේරුම් ගන්න නම් මම කියවිය යුත්තේ කුමක්ද?” සංචාරකයා අසයි.

පොත් වෙළෙන්දා ඔහුට ඉතිහාස පොතක් හෝ සංචාරක මාර්ගෝපදේශයක් ලබා නොදෙයි. ඔහු අතට ගන්නේ රහස් පරීක්ෂක නවකතාවකි.

ඉයන් රැන්කින්ගේ Knots and Crosses.

“මේක ඔබට තවත් එඩින්බරෝවක් පෙන්වාවි,” ඔහු කියයි.

එදින රාත්‍රියේ හෝටල් කාමරයේ සිට සංචාරකයා පොත කියවීම ආරම්භ කරයි. පිටු කිහිපයක් ගතවන විට ජනේලයෙන් පිටත පෙනෙන නගරය වෙනස් වීමට පටන් ගනී.

මාලිගාව තවමත් නගරයට ඉහළින් නැගී සිටියි. අලංකාර වීදි එලෙසම පවතී. එහෙත් උත්සව, විශ්වවිද්‍යාල සහ ශ්‍රේෂ්ඨ ගොඩනැගිලිවලින් සැරසුණු එඩින්බරෝව යටින් තවත් නගරයක් මතුවෙයි.

එඩින්බරෝව වසා දැමූ කාමර, බිඳුණු පවුල්, මත්ද්‍රව්‍ය, දේශපාලන බලපෑම් සහ ගෞරවනීය ආයතන තුළ සඟවා ඇති රහස්වලින් පිරුණු නගරයකි.

එහි මැද සිටින්නේ පරීක්ෂක ජෝන් රීබස්ය.

රීබස් පිරිසිදු හා පරිපූර්ණ වීරයෙක් නොවේ. ඔහු අධික ලෙස මත්පැන් පානය කරයි. අධිකාරිය සැක කරයි. තම අතීතයේ තුවාල රැගෙන යයි. නීති කඩකරයි. සබඳතා විනාශ කරගනියි.

එහෙත් අසාධාරණයක් දුටු විට ඔහුට එයින් ඉවත බලා සිටිය නොහැක. අනෙක් අය අවසන් කළ පරීක්ෂණයක, නොගැළපෙන කුඩා තොරතුර රීබස් දකියි.

රැන්කින්ගේ නවකතා කියවමින් යන විට එඩින්බරෝව පසුබිමක් පමණක් නොවන බව X ට වැටහෙයි. නගරයද කතාවේ ප්‍රධාන චරිතයක් බවට පත්වෙයි.

ධනවතුන් සහ දුප්පතුන් භූගෝලීය වශයෙන් ආසන්නව ජීවත් වුවද ඔවුන් සිටින්නේ එකිනෙකට වෙනස් ලෝකවලය. අලංකාර ගොඩනැගිල්ලක් පිටුපස දූෂණයක් සැඟවිය හැකිය. නිහඬ මත්පැන්හලක මිනීමැරුමක අතුරුදන් වූ සාක්ෂිය තිබිය හැකිය. එකම පටු මාවත දේශපාලන බලය දෙසටත් සංවිධානාත්මක අපරාධය දෙසටත් ගෙන යා හැකිය.

ඉයන් රැන්කින්ගේ විශිෂ්ටත්වය අභිරහස් කතා නිර්මාණය කිරීම පමණක් නොවේ. ඔහු එඩින්බරෝ නගරයේ දෙවැනි සිතියමක් නිර්මාණය කළේය.

එම සිතියමේ පොලිස් ස්ථාන, නිවාස සංකීර්ණ, මත්පැන්හල්, සිරගෙවල් සහ දේශපාලන බල මධ්‍යස්ථාන මුදල්, මතකය සහ බලය මගින් එකිනෙක සම්බන්ධ වී ඇත.

පසුදා උදෑසන සංචාරකයා නැවතත් එඩින්බරෝව හරහා ඇවිද යයි. මෙවර ඔහු පාලම් යට සෙවණැලි දකියි. පටු මාවත්වල නිහඬ ජනේල දකියි. උත්සවාකාර නගරය සහ එහි පිටුපස ජීවත්වන මිනිසුන් අතර ඇති පරතරය දකියි.

කඳු සහ නිම්න තවමත් සුන්දරය. එහෙත් එඩින්බරෝවට සදාචාරාත්මක කඳු සහ නිම්නද තිබෙන බව දැන් ඔහු දනියි.

ඉයන් රැන්කින් නගරයේ අඳුර නිර්මාණය කළේ නැත. එය දැකිය යුතු ආකාරය ලොව පුරා පාඨකයන්ට ඉගැන්වූවේය.

X එඩින්බරෝවට පැමිණියේ සංචාරක සිතියමක් අතැතිවය.

ඔහු පිටව ගියේ රීබස් පිලිබඳ මතකය සහ අළුත් එඩින්බරෝවක් අත් දකිමිනි.

එඩින්බරෝ නගරයේ සැඟවුණු අපරාධ ලෝකය අපට පෙන්වා දුන්නේ කවුද?

ඒ ස්කොට්ලන්තයේ ප්‍රකට අපරාධ නවකතාකරුවකු වන ශ්‍රීමත් ඉයන් රැන්කින් ය.

1960දී ස්කොට්ලන්තයේ උපන් රැන්කින්, එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරුවේය. 1987දී පළවූ Knots and Crosses නවකතාවෙන් ඔහු අභියෝගාත්මක පොලිස් පරීක්ෂක ජෝන් රීබස් ලෝකයට හඳුන්වා දුන්නේය.

රැන්කින්ගේ නවකතාවල එඩින්බරෝව පසුබිමක් පමණක් නොව ප්‍රධාන චරිතයක් බවට පත්වෙයි. එහි සුන්දර ගොඩනැගිලි සහ සංස්කෘතික උත්සව යට සැඟවුණු අපරාධ, දූෂණය, දේශපාලන බලය සහ සමාජ අසමානතාව ඔහු හෙළි කරයි.

භාෂා 36කට පරිවර්තනය වී ඇති රීබස් නවකතා ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී තිබේ. සාහිත්‍යයට කළ සේවය වෙනුවෙන් ඉයන් රැන්කින්ට 2023දී නයිට් පදවියක්ද පිරිනමන ලදී.

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *