මම ඉතාලියේ සිතියමක් විවෘත කරලා Fontamara කියන ගම සොයන්න පටන් ගත්තා.
උතුර බැලුවා.
දකුණ බැලුවා.
අබ්රුසෝ කඳුකරය විශාල කරලා බැලුවා.
නමුත් ෆොන්ටමාරා හමු වුණේ නැහැ.
ෆොන්ටමාරා කියන්නේ සිතියමේ ඇති ගමක් නොවන බව.
එය ඉග්නාසියෝ සිලෝනේ නිර්මාණය කළ ගමක්.
, සිතියමේ නැති ඒ ගම, සිතියමේ ඇති බොහෝ ගම්වලට වඩා සැබෑ ලෙසම නිර්මාණය වෙලා තියේනවා .
සිලෝනේගේ වචන අතරින් එහි මිනිසුන් එකිනෙකා මතු වුණා. ඔවුන් කතා කළා. තර්ක කළා. බිය වුණා. රැවටුණා. කෝප වුණා. නැවත බලාපොරොත්තු තැබුවා.
ෆොන්ටමාරාවේ සිටියේ දුප්පත් ගොවීන්. ඔවුන්ට මහත් දේශපාලන දැනුමක් තිබුණේ නැහැ. නීතිවල භාෂාව ඔවුන්ට තේරුණේ නැහැ. බලධාරීන්ගේ ලේඛන, ගිවිසුම් හා පොරොන්දු අතර ඔවුන් නිතරම අතරමං වුණා.
නමුත් ඔවුන් මෝඩයන් නොවෙයි.
ඔවුන්ට පස ගැන දැනුම තිබුණා.
ජලය ගැන දැනුම තිබුණා.
වැස්ස, වගාව, කුසගින්න හා මිනිස් ස්වභාවය ගැන දැනුම තිබුණා.
ඔවුන්ට නොතිබුණේ බලයයි.
Fontamara නවකතාවේ ගමේ ජලය බලවත් මිනිසුන් විසින් වෙනත් දිශාවකට හරවනු ලබනවා. ගම්වැසියන් විරෝධය පළ කරනවා. නමුත් ඔවුන්ට නොතේරෙන නීතිමය වචනවලින්, ලේඛනවලින් සහ වංචාකාරී පොරොන්දුවලින් ඔවුන්ව පරාජය කරනවා.
මේ කොටස කියවන විට මට සිතුණේ ඉතාලිය ගැන නොවෙයි.
කැබිතිගොල්ලවේ වේ ජලය වෙනුවෙන් බලා සිටින ගොවීන්.
කන්තලේ ඉඩම් අහිමි වූ පවුල්.
මහියංගනයේ කාර්යාලයකින් කාර්යාලයකට ගොස් අත්සනක් සොයන මිනිසුන්.
නීතිය තිබුණත් සාධාරණය නොලැබෙන හම්බන්තොට ජනතාව.
ඒ ඔස්සේ ෆොන්ටමාරා සිතියමෙන් අතුරුදන් වුණත්, අපේ සමාජය තුළ නැවත දිස්වුණා.
සිලෝනේගේ විශේෂත්වය වූයේ දේශපාලනය ගැන විශාල දේශන නොලියා, දේශපාලනය මිනිසෙකුගේ දිනපතා ජීවිතයට ඇතුළු වන ආකාරය පෙන්වීමයි.
ජලය නැති වීම දේශපාලනයකි.
ඉඩම අහිමි වීම දේශපාලනයකි.
බඩගින්න දේශපාලනයකි.
කෙනෙකුට නීතිය තේරෙන්නේ නැති බව භාවිතා කර ඔහුව රැවටීමත් දේශපාලනයකි.
සිලෝනේ එය අපට කියන්නේ දාර්ශනිකයෙකුගේ භාෂාවෙන් නොව, ගමේ මිනිසුන්ගේ හඬින්.
ඔහුගේ සැබෑ නම සෙකොන්ඩිනෝ ට්රැන්ක්විලි ය. 1900දී ඉතාලියේ අබ්රුසෝ ප්රදේශයේ උපන් ඔහු, දුප්පත්කම, භූමිකම්පා, ආගමික බලය සහ ග්රාමීය ජනතාවගේ අසරණභාවය කුඩා කල සිටම දැක වර්ධනය වුණා.
1915 භූමිකම්පාවෙන් ඔහුගේ මව සහ පවුලේ බොහෝ දෙනෙක් මිය ගියා. පසුව ඔහු සමාජවාදී සහ කොමියුනිස්ට් දේශපාලනයට එක් වුණා. ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකුද වුණා.
නමුත් ඔහුට ඉක්මනින්ම වැටහුණේ, ජනතාව නිදහස් කිරීමට ආරම්භ වූ පක්ෂයකටත් බලය ලැබුණු විට පීඩිතයින් යළිත් මර්දනය කළ හැකි බවයි.
මුසෝලිනිගේ ෆැසිස්ට් පාලනයෙන් බේරීමට ඔහුට ඉතාලියෙන් පිටවී ස්විට්සර්ලන්තයේ ජීවත් වීමට සිදු වුණා. එහිදී ඔහු ෆොන්ටමාරා නිර්මාණය කළා.
සිතියමේ නොතිබූ ගමක්.
නමුත් සැබෑ ලෝකයේ අසාධාරණයට ලක්වූ සියලු ගම්වල සංකේතයක්.
සිලෝනේගේ අනෙක් ප්රධාන කෘති වන Bread and Wine, The Seed Beneath the Snow, The Secret of Luca සහ The School for Dictators තුළත් නැවත නැවත මතුවන්නේ එකම ප්රශ්නයයි:
රජය, පක්ෂය, ආගම සහ නීතිය මිනිසා ආරක්ෂා නොකරන විට, සාධාරණය සොයන්නේ කොහෙන්ද?
සිලෝනේගේ පිළිතුර සම්පූර්ණ දේශපාලන වැඩපිළිවෙළක් නොවෙයි.
එය හෘදසාක්ෂියකි.
ඔහුගේ චරිතවලට බලය නැහැ. නමුත් ඔවුන්ට වේදනාව දැනෙනවා. අසාධාරණය හඳුනාගන්න පුළුවන්. කෙනෙකු රවටන විට, එය නීතියට අනුකූල වුණත් වැරදි බව ඔවුන් දන්නවා.
ඒ නිසා සිලෝනේගේ චරිත ජීවමානයි.






