යෝධයාගේ උයනෙන් පටන්ගත් ගමන
මට ඔස්කාර් වයිල්ඩ් මුලින්ම හමුවුණේ සාහිත්‍ය විචාරයකින්වත්, විශ්වවිද්‍යාල පොතකින්වත් නොවේ.
ඔහු මට හමුවුණේ යෝධයෙකුගේ උයනකදීය.
කුඩා කාලයේ කියවූ The Selfish Giant — අපි බොහෝ දෙනා දන්නා “ආත්මාර්ථකාමී යෝධයා” — මගේ සිතේ පැලපදියම් වූ කතාවක් විය.
ළමයින්ට තම උයනට ඇතුළු වීමට ඉඩ නොදුන් යෝධයා.
ඔහුගේ උයනට නොපැමිණි වසන්තය.
පසුව නැවත පැමිණෙන දරුවන් සමඟ උයනට එන ජීවය.
කුඩා දරුවෙකු ලෙස මට එය ලස්සන කතාවක් පමණක් විය.
වසර ගණනකට පසුව මට තේරුණේ, එහි සිටියේ යෝධයා පමණක් නොවන බවයි.
ඒ උයන ඇතුළේ Oscar Wilde ද සිටියේය.
එය දැනගත් පසු ඔහු පසුපස හඹා යෑමට සිත් විය .
සුරංගනා කතා ලියූ මේ මිනිසාගේ ජීවිතය සුරංගනා කතාවක් නොවීය
Oscar Fingal O’Flahertie Wills Wilde උපන්නේ 1854දී අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේය.
ඔහුගේ පියා වෛද්‍යවරයෙකි. මව කවියෙකු හා අයර්ලන්ත ජාතිකවාදී අදහස් දැරූ ලේඛිකාවකි.
කුඩා වියේ සිටම Wilde වචනයේ බලය පිළිබඳව දැන සිටියේය.
පසුව Oxfordහි අධ්‍යාපනය ලැබූ ඔහු ලන්ඩනයේ සාහිත්‍ය සහ සමාජ ජීවිතයට පිවිසෙන්නේ සාමාන්‍ය ලේඛකයෙකු ලෙස නොවේ.
ඔහුම ජීවමාන කලා කෘතියක් බවට පත් විය.
අසාමාන්‍ය ඇඳුම්.
තියුණු බුද්ධිය.
සමාජය විහිළුවට ලක් කරන වාක්‍ය පෙළ
අනෙකුත් මිනිසුන් දිගු දේශනයකින් කියන දෙයක් Wildeට වාක්‍යයකින් කිව හැකි විය .
ඔහුගේ ප්‍රධාන ආයුධය කඩුවක් නොවීය.
Paradox — පරස්පර වාක්‍යයයි.
අපට සාමාන්‍ය ලෙස පෙනෙන දෙයක් ඔහු අනෙක් පැත්තට හරවා පෙන්වීය.
එවිට අපට සිනහ යයි.
නමුත් සිනහව අවසන් වූ පසු අපට තේරෙන්නේ ඔහු අප ගැනම කතා කළ බවයි.
ඔස්කාර් ජීවත් වූයේ කපටින් විසු සුචරිතවාදීන් ගේ දේශයකද?
වික්ටෝරියානු බ්‍රිතාන්‍ය තමන් ගැන ලොකුවට හිතාගෙන සිටි සමාජයකි .
ආචාරශීලීත්වය.
පවුල් ගෞරවය.
ආගමිකත්වය.
යහපත් හැසිරීම.
ගෞරවනීය පිරිමින් හා ගෞරවනීය කාන්තාවන්.
පිටතින් බැලූ විට සියල්ල පිළිවෙළකට තිබුණි.
Wildeගේ ප්රශ්නය වූයේ:
තිරය පිටුපස තිබෙන්නේ කුමක්ද?
මිනිසුන් ප්‍රකාශ කරන සදාචාරය හා ඔවුන් සැබවින්ම ජීවත්වන ජීවිතය අතර විශාල පරතරයක් ඔහු දුටුවේය.
ඒ නිසා Wildeගේ සාහිත්‍යයේ නිතරම දෙදෙනෙක් ජීවත් වෙති.
ලෝකයට පෙන්වන මිනිසා.
සහ සැඟවී ජීවත් වන මිනිසා.
ඔහුගේම ජීවිතයද අවසානයේ මේ දෙක අතර සිර විය.
The Picture of Dorian Gray — ලස්සන මුහුණක් පිටුපස කුණු වන ආත්මය
Wildeගේ එකම නවකතාව වන The Picture of Dorian Gray ඔහුගේ ලෝකය තේරුම් ගැනීමට හොඳම දොරටුවකි.
Dorian Gray තරුණයෙකි.
අතිශය රූමත්ය.
ඔහුගේ රූපයක් චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මාණය කරයි.
Dorianගේ ප්‍රාර්ථනය අමුතුය.
තමා හැමදාම තරුණව සිටිය යුතුය.
වයසට යා යුත්තේ තම රූපයයි.
ඒ ප්‍රාර්ථනය සැබෑ වේ.
Dorian සතුට, ආශාව හා අඳුරු අත්දැකීම් පසුපස යයි. ඔහු කරන වැරදි ඔහුගේ මුහුණේ නොපෙනේ.
නමුත් සැඟවූ කාමරයක තිබෙන චිත්‍රය ක්‍රමයෙන් විකෘති වෙයි.
මේක භයානක කතාවක් පමණක්ද?
නැහැ.
එය Victorian සමාජයේම පින්තූරයකි.
පිටතින් ලස්සනයි.
ඇතුළතින් කුණු වෙමින් පවතී.
අද Instagram, Facebook සහ image-conscious ලෝකයක් තුළ ජීවත් වන අපට Dorian Gray තවත් අමුතු ලෙස හුරුපුරුදුය.
අපි පෙන්වන ජීවිතයත්, අපි සැබවින්ම ජීවත්වන ජීවිතයත් එකමද?
Wilde අවුරුදු සියයකටත් පෙර එම ප්රශ්නය අසා තිබුණි.
The Importance of Being Earnest — සමාජයම විහිළුවක් බවට පත් කිරීම
Wildeගේ විහිළුවේ උපරිමය හමුවන්නේ The Importance of Being Earnest නාට්‍යයේය.
මිනිසුන් නම් වෙනස් කරති.
අනන්‍යතා සඟවති.
ආදරය සඳහා බොරු කියති.
විවාහය, පවුල, පන්තිය සහ “ගෞරවනීයභාවය” පිළිබඳ Victorian අදහස් සියල්ල Wildeගේ අතට වැටුණු විට විහිළුවක් බවට පත්වෙයි.
නමුත් ඔහුගේ සිනහව ලාභ සිනහවක් නොවේ.
ඔහු අපට කියන්නේ:
සමාජයක් තමන් ගැන ඕනෑවට වඩා ගරුක ලෙස කතා කිරීමට පටන් ගත් විට, එය හොඳින් පරීක්ෂා කළ යුතු බවයි.
නැවතත් යෝධයාගේ උයනට
එහෙත් මට Wildeගේ වඩාත්ම සිත්ගන්නා පැත්ත මේ සියල්ලටත් වඩා The Selfish Giant තුළ පෙනේ.
යෝධයා තම උයන වටා තාප්පයක් ගසයි.
මෙය මගේ උයනයි.
දරුවන් ඉවත් කරයි.
ඒ මොහොතේ වසන්තයත් ඔහු හැර යයි.
මෙය ළමා කතාවක් වුවත් එහි තිබෙන අදහස ඉතා විශාලය.
ඔබ ජීවිතය තාප්පයකින් වසාගත් විට, අන් අය පමණක් පිටතට දමන්නේ නැත.
වසන්තයත් පිටතට දමයි.
පසුව යෝධයා වෙනස් වෙයි.
තාප්පය බිඳ දමයි.
දරුවන්ට නැවත උයන ලබා දෙයි.
එවිට වසන්තය නැවත පැමිණේ.
Wildeගේ ජීවිතය දැනගත් පසු මේ කතාව නැවත කියවන විට එහි දුක වෙනස් ලෙස දැනෙයි.
සමාජය සිනාසූ මිනිසාට සමාජයම පහර දුන්නේය
1890 දශකයේදී Wilde ලන්ඩනයේ ඉතා ජනප්‍රිය ලේඛකයෙකු හා නාට්‍යකරුවෙකු විය.
නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතය Victorian නීතිය හා සමාජ සදාචාරය සමඟ ගැටුණි.
Lord Alfred Douglas සමඟ ඔහුගේ සම්බන්ධතාවය වටා ඇති වූ සිදුවීම් අවසානයේ නඩු මාලාවකට නිමිත්ත විය .
1895දී Wilde පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් එවකට පැවති නීතිය යටතේ වරදකරු කරනු ලැබීය.
ඔහුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම විය.
ඊයේ ඔහුගේ නාට්‍ය බැලීමට පෝලිමේ සිටි සමාජය අද ඔහුට පිටුපා ගියේය.
මෙය Wildeගේ කෘතිවල තිබූ මහා irony එකකි.
සමාජයේ කපටිකම ගැන විහිළු කළ ඔහු ගේ උත්ප්‍රසය අවසානයේ ඒ කපටිකමේම ගොදුරක් බවට පත් විය.
සිරගෙදරදී විහිළුකාරයා නිහඬ විය
සිරගෙදර Wilde වෙනස් මිනිසෙකු බවට පත්විය.
එතැනින් අපට හමුවන්නේ ලන්ඩන් drawing-room එකක මිනිසුන් සිනාගන්වන Oscar නොවේ.
De Profundis තුළ අපට හමුවන්නේ වේදනාව, ආදරය, පසුතැවීම, අහිමි වීම සහ තමා ගැනම විමසන මිනිසෙකි.
පසුව ලියූ The Ballad of Reading Gaol තුළ සිරකරුවා සහ දඬුවම පිළිබඳ ඔහුගේ දැක්ම තවත් ගැඹුරු විය.
ඔහු පරාජය වූවාද?
සිරෙන් නිදහස් වූ පසු Wilde බොහෝ දේ අහිමි කරගෙන තිබුණි.
කීර්තිය.
මුදල්.
සමාජ පිළිගැනීම.
පවුල් ජීවිතය.
ශාරීරික සෞඛ්‍යය.
ඔහු ප්‍රංශයට ගියේය.
1900දී පැරිසියේදී මිය ගියේ වයස අවුරුදු 46දීය.
Victorian සමාජයට එය Wildeගේ අවසානයක් ලෙස පෙනෙන්නට ඇත.
නමුත් ඉතිහාසය වෙනත් තීන්දුවක් දුන්නේය.
ඔහුට දඬුවම් කළ සමාජයේ බොහෝ “ගෞරවනීය” මිනිසුන්ගේ නම් අද අපට මතක නැත.
Oscar Wildeගේ නම තවම ජීවත් වේ.
Wilde අපට දුන් දේ
ඔහු නාට්‍ය කිහිපයක් හා නවකතාවක් ලියා ගිය ලේඛකයෙකු පමණක් නොවේ.
ඔහු අපට සමාජය දෙස බලන ක්‍රමයක් ලබා දුන්නේය.
මිනිසුන් ඉතා උද්යෝගයෙන් “සදාචාරය” ගැන කතා කරන විට — ඔවුන් සැබවින්ම කරන්නේ කුමක්දැයි බලන්න.






