මාස කිහිපයකට පෙර මම ටොරොන්ටෝ නගරයට පැමිණි විට මට තුරුළු වන්නට සිටියේ යේ තනිකම හා පාළුව පමණි .පාසල් මිතුරන් කීප දෙනෙක් සිටියත් ඒ හැම එකාම බිසිය .අළුත් නව මුහුණු පහසුවෙන් සිනාසෙන්නේ නැත . එහෙයින්ම මා තුළ තිබු ශ්‍රී ලංකාව පිළිබඳව දැල්වුණු නොනිමෙන සිහිනය තුල ජීවත් වන්නට පුරුදු වුයෙමි
සෙනසුරාදා හැන්දෑවක ටොරොන්ටෝවේ , පැරණි පොත් අලෙවිසැලකට ඇතුළු වුයෙමි . දූවිලි වැසුණු රාක්ක අතර ඇවිදිමින් සිටියදී, මගේ ඇස් නතර වූයේ එක් පොතක් මතය.
Funny Boy
එය මම අතට ගත් මොහොතේ, මට නොවැටහුණු යමක් විය . මම පොතක් මිලදී ගත්තාද ,එසේත් නැතිනම් නැතහොත් මට මගහැරුණු ශ්‍රී ලංකාව සොයා ගැනීමට යතුරක් හොයාගත්තාද ?
එම පොතේ කතුවරයා වූයේ ශ්‍යාම් සෙල්වදොරේය .
ඊළඟ මාස කිහිපය තුළ, මම ශ්‍යාම්ගේ ලෝකය තුළ ජීවත් වුණෙමි.
Funny Boy තුළින් මට හමුවූයේ 1983 කලබලවලට පෙර සහ පසු ශ්‍රී ලංකාවය. එය ඉතිහාස පොතක තිබෙන සිදුවීම් නොවීය. එය මිනිසුන්ගේ බිය, බලාපොරොත්තු, ආදරය සහ අනන්‍යතාව පිළිබඳ කතාවකි.ඇඟේ මයිල් කෙළින් කළ ශෝකාන්තයක් විය.
ඉන්පසු මම Cinnamon Gardens කියවූයෙමි. එහිදී හමුවූයේ යටත් විජිත සමයේ කොළඹය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සෙවණ යට ජීවත් වූ සමාජයක්. පන්තිය, බලය, ගෞරවය සහ සැඟවුණු ආශාවන් එකිනෙකට බැඳී තිබූ ලෝකයක්.
The Hungry Ghosts
එය කියවද්දී මට වැටහුණේ ශ්‍රී ලංකාව අත්හැර යාම සහ ශ්‍රී ලංකාව රැගෙන යාම දෙකක් බවය. සංක්‍රමණිකයා රට හැරියත්, රට ඔහු තුළම ජීවත් වන බවය. ශ්‍යාම්ගේ චරිත මෙන්ම අපි බොහෝ දෙනාද ජීවත් වන්නේ රටවල් දෙකක් අතරය.
Swimming in the Monsoon Sea තුළින් මට හමුවූයේ යෞවනත්වයයි. වර්ෂාව, මුහුද, මිත්‍රත්වය සහ තමන් කවුද යන්න සොයන තරුණ සිතක සංවේදී ගමනයි.
අද මම ශ්‍යාම්ගේ අවසාන නවකතාව වූ Mansions of the Moon කියවා අවසන් කළෙමි.
එහිදී මට හමුවූයේ බුදුන් වහන්සේගේ යුගය පමණක් නොවේ. එහිදී මට හමුවූයේ ඉතිහාසය, ආත්මිකත්වය, ආදරය, වෙන්වීම සහ මිනිස් ජීවිතයේ අර්ථය සොයන ගමනයි.
මෙම පොත් පහ කියවා අවසන් කළ විට මට දැනුණේ මම ශ්‍රී ලංකාව හරහා මෙතෙක් නොගිය ගමනක අවර්ජනයයි.
1983 දී බියෙන් පිරුණු ශ්‍රී ලංකාවක්.
යටත් විජිත සමයේ සිහින සහ සීමාවන් අතර සිරවුණු ශ්‍රී ලංකාවක්.
විදේශගත වුවත් හදවතින් තවමත් දූපතේ ජීවත් වන ශ්‍රී ලංකාවක්.
තරුණ ආත්මයන්ගේ ශ්‍රී ලංකාවක්.
ඉතිහාසයේ සහ බුද්ධ දර්ශනයේ සලකුණු සහිත ශ්‍රී ලංකාවක්.
අද මට වැටහෙන්නේ ශ්‍යාම් සෙල්වදුරයි යනු නවකතාකරුවෙකු පමණක් නොවන බවය.
ඔහු ලියා ඇත්තේ ඔහු අත්හැර ගිය ශ්‍රී ලංකාව ගැන පමණක් නොවේ. ඔහු ලියා ඇත්තේ ඔහු තවමත් කරපින්නාගෙන යන ශ්‍රී ලංකාව ගැනද ?. සමහර විට, ඔහුගේ කෘති තුළ සැඟවී ඇත්තේ ඔහු නැවත පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවක් විය හැකිය.
ටොරොන්ටෝවේ පැරණි පොත් සාප්පුවකදී මට හමුවූයේ “Funny Boy” පමණක් නොවේ.
මට හමුවූයේ ශ්‍රී ලංකාවකි.
ස්තුතියි, ශ්‍යාම්.
ඔබේ පොත් කියවා අවසන් කළ දා, මම ශ්‍රී ලංකාව තවත් ටිකක් හොඳින් තේරුම් ගත්තෙමි.






