Enjoy free shipping on orders above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

ලන්ඩනයේ සීතල දවසක මුණගැසුණු ජැක් රීචර් – ලී චයිල්ඩ්

ලන්ඩනයේ ශීත ඍතුව අළු පාටය. හිරු එළිය තිබුණත් උණුසුමක් දැනෙන්නේ නැත. එවැනි එක් සීතල සන්ධ්‍යාවක මම ඔක්ස්ෆර්ඩ් වීදියේ පොත් සාප්පුවකට ඇතුල් වුණෙමි. එය විශේෂ පොතක් සොයාගෙන ගිය ගමනක් නොවේ. උණුසුම සමඟින් පොත් රාක්ක අතර සැරිසැරීමට ගිය ගමනක් පමණි. මගේ ඇස ගැටුණේ සරල කවරයක් ඇති නවකතාවකටය. කවරයේ ලොකු අකුරින් ලියා තිබුණේ කතුවරයාගේ නම – ලී චයිල්ඩ්.

ඒ ඇස ගැටුම දිගු ගමනක ඇරඹුම බව ඒ මොහොතේදී මට වැටහුනේ නැත.

පොත ගෙදර ගෙන ගොස් කියවන්නට පටන් ගත් විට මට මුලින්ම හමුවූයේ ජැක් රීචර්ය. ඔහු සාමාන්‍ය නවකතා වීරයෙකු නොවේ. ඔහුට නිවසක් නැත. රැකියාවක් නැත. මෝටර් රථයක් නැත. ජංගම දුරකථනයක්වත් නැත. ඔහු හිටපු ඇමරිකානු යුද පොලිස් නිලධාරියෙකි. ඔහු ගමන් කරන්නේ බස් රථවලින්. අතේ තිබෙන්නේ දත් බුරුසුවක් සහ ඇඳුම් කිහිපයක් පමණි.

ඒත් රීචර්ට අන් අයට වැඩියෙන් යමක් ඇත. ඒ සුවිසල් නිරීක්ෂණ ශක්තියයි . මිනිසුන් දකින දේවලින් ඔහු නොදකින දේවල් හඳුනාගනී. අන් අය නොසලකා හරින විස්තරවලින් ඔහු සත්‍යය සොයාගනී.

ලී චයිල්ඩ්ගේ පොත් දශක කීපයක් පුරා මා ඇද බැඳ තබාගත් ව ඇදගත් පළමු හේතුව මේ කුතුහලය දනවන නිරීක්ෂණ ශක්තියයි.

දෙවන හේතුව වූයේ ඔහුගේ ලිවීමේ රටාවයි. බොහෝ රහස් පරීක්ෂණ නවකතාවල කතාව සෙමින් ගොඩනැගේ. නමුත් ලී චයිල්ඩ් පළමු පිටුවේ සිටම ප්‍රශ්නයක් මතු කරයි. කෙනෙකු මියගොස් ඇත. කෙනෙකු අතුරුදන් වී ඇත. කෙනෙකු බොරුවක් කියයි. පාඨකයාට දැනෙන්නේ එක දෙයකි.

“තව පිටුවක් කියවමු.”

ඒ “තව පිටුවක්” කියමින් ගිය ගමන බොහෝ විට රාත්‍රී දෙක හෝ තුන වන තුරු දිග හැරේ.

තවත් විශේෂත්වයක් වන්නේ රීචර්ගේ චරිතයයි. ඔහු සුපිරි වීරයෙක් නොවේ. ඔහු අතිශය බුද්ධිමත්, නිරීක්ෂණශීලී සහ සරල තර්කනයකින් වැඩ කරන මිනිසෙකි. ඔහු ගැටලුවක් දුටු විට එය මග හරින්නේ නැත. එය විසඳන තුරු නවතින්නේද නැත.

මම පසුව දැනගත්තේ ලී චයිල්ඩ් යනු බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයෙකු බවයි. ඔහු කලකට පෙර BBC ආයතනයේ සේවය කර තිබේ. රැකියාව අහිමි වූ පසු නවකතාවක් ලිවීමට තීරණය කළේය. එහි ප්‍රතිඵලය වූයේ Killing Floor නම් ඔහුගේ පළමු ජැක් රීචර් නවකතාවයි. එතැන් සිට ජැක් රීචර් ලොව පුරා මිලියන ගණනක් පාඨකයන්ගේ ප්‍රියතම චරිතයක් බවට පත්විය.

ඇයි ලී චයිල්ඩ්ගේ පොත් මෙතරම් ජනප්‍රිය?

මගේ අදහස නම් ඔහු රහස් කතා පමණක් ලියන්නේ නැත. ඔහු පාඨකයා සමඟ බුද්ධිමය ක්‍රීඩාවක් එහෙමත් නැතිනම් චෙස් ඇදිල්ලක් කරයි. සෑම පරිච්ඡේදයක්ම ප්‍රශ්නයක් තබයි. සෑම පිළිතුරක්ම තවත් ප්‍රශ්නයකට දොර විවර කරයි.

අදත් මට ලී චයිල්ඩ්ගේ පොතක් අතට ගත් විට මතක් වන්නේ ලන්ඩනයේ එම සීතල සන්ධ්‍යාවයි. පොත් සාප්පුවක රාක්කයක් අසල අහම්බෙන් හමුවූ පොතක්, නවකතා ලෝකයේ අමතක නොවන චරිතයකට මාව හඳුන්වා දුන්නේය.

සමහර විට හොඳ පොත් අප සොයා යන්නේ නැත.

හොඳ පොත් අපව සොයාගෙන එන අවස්ථාවන්ද තිබේ.ලන්ඩනයේ සීතල සන්ධ්‍යාවකදී මට ලී චයිල්ඩ් දැන හැඳින ගන්න ලැබුනේ එලෙසින්ද ?

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *