Enjoy free shipping on orders above Rs.3,000! Delivery takes 2-5 working days within Sri Lanka.

ෆ්‍රාන්ට්ස් ෆැනොන් :මානසික විලංගුවේ බලය හෙළිදරව් කළ මනෝ වෛද්‍යවරයා

“සිනාසෙති ඔවුන්
මදහසින් නලියති
මේ විලංගු බර අඩුවෙන
හිත ගත හිරකරන විලංගු
සදාහටම ලිහෙන දවසක්
උදාවෙතැයි ප්‍රමුදිතව
සිනාසෙති මිහිතලේ අසරණුන්.

මේ පද කිහිපය ලියා තිබුණේ මගේ මිතුරෙක් වන ශාන්ත . ඒ, මාර්ග ආයතනය විසින් පළ කළ “මිහිතලයේ අසරණයෝ” නම් සිංහල පරිවර්තනයේ ඇතුල් කවරයේ ය.මේ වන විට පිටු පෙරලීමෙන් හෙම්බත්ව ගිය පොතකි

පොත මට දුන් විට ඔහු කීවේ,

“මේක කියවන්න. ඉවර කළාට පස්සේ අපි ආයෙත් කතා කරමු.”

ඒ සංවාදය අදටත් අවසන් වී නැත.

මේ පොත අදත් අපව ප්‍රශ්න කරනවා ඒ පොත ඔබ තුළ දිගටම ජීවත් වෙනවා.

ෆ්‍රාන්ට්ස් ෆැනොන් “මිහිතලයේ අසරණයෝ ලියුවේ ගිනි ගන්නා ඇල්ජීරියාවේ සටන්කාමීන් හා උරෙන් උර ගැටෙමිනි .

ප්‍රංශ යටත් විජිත පාලනයට එරෙහිව ඇල්ජීරියානු ජනතාව සටන් කරමින් සිටියහ. ගම්මාන ගිනිගනිමින් තිබුණි. බෝම්බ පිපිරෙමින් තිබුණි. අත්අඩංගුවට ගැනීම්, වධහිංසා, සැකය සහ බිය එදිනෙදා ජීවිතයේ කොටසක් වී තිබුණි.

ෆැනොන් වෘත්තියෙන් මනෝවෛද්‍යවරයෙකි.

ඔහුගේ රෝගීන්ගේ ශරීරයේ තුවාල පමණක් නොව, ඔවුන්ගේ මනස තුළ ඇති ගැඹුරු තුවාලද ඔහු දුටුවා. වධහිංසාවට ලක්වූ සටන්කාමීන්, බියෙන් ජීවත් වූ සාමාන්‍ය ජනතාව, බලය ක්‍රියාත්මක කළ සොල්දාදුවන්—මේ හැම දෙනාගේම මනසට යුද්ධය කළ දේ ඔහු තම ඇස් දෙකෙන්ම දුටුවා.

ඒ නිසා “මිහිතලයේ අසරණයෝ” යනු දේශපාලන න්‍යාය පිළිබඳ පොතක් පමණක් නොවේ.

එය යුද්ධයක් මැද සිට ලියූ මනෝවෛද්‍යවරයෙකුගේ සාක්ෂියකි.

යටත් විජිතවාදය මිනිසාගේ ඉඩම් පමණක් නොව, ඔහුගේ ආත්ම ගෞරවය, භාෂාව, මතකය සහ සිතීමේ නිදහසද අත්පත් කරගන්නා ආකාරය පිළිබඳ තියුණු විග්‍රහයකි.

ලෝකයේ බොහෝ දේශපාලන පොත් බලය ගැන කතා කරනවා.

ෆැනොන් කතා කරන්නේ බලය මිනිසාගේ හිතට කරන දේ ගැනයි.

ඔහු පෙන්වන්නේ යටත් විජිතවාදය රටක් පමණක් අල්ලා නොගන්නා බවයි.

එය මිනිසාගේ ආත්ම විශ්වාසය අල්ලා ගන්නවා.

තමන්ගේම භාෂාවට ලැජ්ජා වීමට.

තමන්ගේම සංස්කෘතිය පහත් යැයි සිතීමට.

තමන්ගේම ඉතිහාසය අමතක කිරීමට.

මේ සියල්ලටම යටත් විජිතවාදය මිනිසා පුහුණු කරන බව ෆැනොන් පෙන්වා දෙනවා.

ඔහුගේ භාෂාව කෝපයෙන් පිරී තිබුණත්, ඒ කෝපය වෛරයෙන් උපන් එකක් නොවේ.

එය ගෞරවය නැවත සොයන මිනිසෙකුගේ කෝපයයි.

එම නිසා මේ පොත පළ වූ 1961 වසරේදී එය හුදෙක් ඇල්ජීරියාව ගැන ලියූ පොතක් නොවුණා.

අප්‍රිකාවේ.

ආසියාවේ.

ලතින් ඇමරිකාවේ.

යටත් විජිත පාලනයෙන් නිදහස සොයමින් සිටි රටවල් රැසක් තමන්ගේම කතාව මේ පොත තුළ කියවන්න පටන් ගත්තා.

ෆැනොන් ඇසුවේ එදාත් අදත් වැදගත්ම ප්‍රශ්නයක්.

“රට නිදහස් වුණාට, මනස තවමත් යටත් විජිතයක් නම්, ඔබ ඇත්තටම නිදහස්ද?”

ෆැනොන් අකාලයේ මිය ගියත් ඔහු ගේ පොත් පිටු තවමත් ජීවමානයි

ෆැනොන් මට ඉගැන්නුවේ බලය හැමවිටම තුවක්කුවක් අතේ නොසිටින බවයි.

සමහර වෙලාවට බලය පාසල් පොතක මතුවෙනවා .

පුවත්පතක ඉන්නවා.

චිත්‍රපටයක ඉන්නවා.

අපි අපි ගැනම කියන කතාවක ඉන්නවා.

අදත් ලෝකයේ කොහේ හරි අසාධාරණයක් සිද්ධ වෙනකොට, මිනිසුන්ගේ හඬ නිහඬ කරන්න උත්සාහ කරනකොට, මට හිතෙන්නේ ෆැනොන් ළඟ හිඳගෙන මට මඳ හඬින් කියනවා වගේ.

“බලය හැමවිටම පෙනෙන තැන ඉන්නෙ නෑ. සමහර වෙලාවට ඒක මිනිසුන් තමන් ගැන හිතන විදිහ ඇතුළේ ඉන්නවා.”

“සැබෑ නිදහස යනු යටත් විජිත පාලනය අවසන් කිරීම විතරක් නෙවේ , ඒ පීඩනයෙන් මිනිසාගේ මනස තුළ ඉතිරි වූ මානසික විලංගුවලින්ද නිදහස් වෙන්න ඕනේ ”

ඒ නිසාම ඔහු මියගිය ලේඛකයෙක් ලෙස මට දැනෙන්නේ නැහැ.

ඔහු තවමත් සංවාදයක සිටින මිනිසෙක්.

ෆ්‍රාන්ට්ස් ෆැනොන් කවුද?

1925දී කැරිබියානු මුහුදේ මාර්ටිනික් දූපතේ උපත ලැබූ ෆ්‍රාන්ට්ස් ෆැනොන් වෘත්තියෙන් ෆ්‍රාන්ට්ස් ෆැනොන් මනෝ මනෝ වෛද්‍යවරයෙක් විය. දෙවන ලෝක යුද්ධයට සහභාගි වූ ඔහු පසුව ප්‍රංශයේ වෛද්‍ය අධ්‍යාපනය ලබා, ඇල්ජීරියාවේ බ්ලිඩා-ජොයින්විල් රෝහලේ සේවය කළේය. එහිදී යටත් විජිත පාලනයේ මනෝවිද්‍යාත්මක විනාශය සියැසින් දුටු ඔහු, ඇල්ජීරියානු නිදහස් අරගලයට එක්වී ලෝකයේ ප්‍රබලතම යටත් විජිත විවේචකයෙකු බවට පත් විය. 1961දී, වයස අවුරුදු 36ක් පමණක් තිබියදී ඔහු අභාවප්‍රාප්ත විය. කෙටි ජීවිතයක් ගත කළත්, ඔහුගේ සිතුවිලි තවමත් විශ්වවිද්‍යාල, සමාජ ව්‍යාපාර සහ මානව නිදහස පිළිබඳ සංවාද හැඩගස්වමින් පවතී.

“මිහිතලයේ අසරණයෝ” යනු කියවා අවසන් කරන පොතක් නොවේ.

එය ඔබ තුළ දිගටම කියවෙන පොතකි.

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *