Enjoy free shipping on orders above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

ස්වර්ගය පුස්තකාලයක් නම්…

අල්මේදා අංකල් කා අතරත් ප්‍රසිද්ධව සිටියේ පොත් කාවෙකු වශයෙනි .ඔහුගේ පොත් රාක්ක අතර සැරිසරමින් සිටියදී මගේ ඇස එක් වාක්‍යයක් මත නතර විය.

“ස්වර්ගය යනු යම් ආකාරයක පුස්තකාලයක් බව මම සැමවිටම සිතා සිටියෙමි.”

මෙය පැවසුවේ ආර්ජන්ටිනාවේ මහා ලේඛකයෙකු වූ ජෝර්ජ් ලුයිස් බෝර්හෙස් බව ඊට යටින් ලියා තිබින .

එම වාක්‍යය කියවූ විට මට සිතුණේ, ලෝකයේ පොත් ගැන ලියූ මිනිසුන් සියල්ලෝම එකම රහසක් දැන සිටියාද යන්නයි.

බෝර්හෙස්ට ස්වර්ගය පුස්තකාලයක් ලෙස පෙනුණි.

රෝමයේ දාර්ශනික සිසෙරෝට පොත් නැති කාමරයක් පෙනුණේ,

“ආත්මයක් නැති ශරීරයක්” ලෙසිනි
අල්මේදා අංකල්ට පොත් රක්කයක් නැති ගෙදරක් පෙනුනේ ‘පරිප්පු නැති හෝටලයක් ලෙසිනි ‘

මේ හැමෝටම තිබුනේ එකම අදහසක් නොවේද?

පොත් යනු කඩදාසි ගොන්නක් නොව, ජීවිතයක හුස්ම බව ඒ හැමෝටම දැනින .

ස්පාඤ්ඤ ලේඛක කාලෝස් රූයිස් සෆොන් තවත් අපූරු දෙයක් පැවසීය.

“පොත් යනු කැඩපත්ය. ඔබ ඒවා තුළ දකින්නේ ඔබ තුළ දැනටමත් තිබෙන දේය.”

එය මුලින්ම කියවූ විට මම එහි තේරුම සම්පූර්ණයෙන්ම නොදැන සිටියෙමි.

නමුත් එකම පොතක් පුද්ගලයන් දෙදෙනෙකු කියවා, සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීම් ලබාගන්නා අයුරු දකින විට පොතක් කැඩපතක් වන්නේ කෙසේදැයි තේරුම් ගත හැකිවිය.

අපි පොත් කියවන්නේ පොත තුළ ඇති දේ සොයාගැනීමට පමණක් නොවේ.

අපි පොත් කියවන්නේ අපවම සොයාගැනීමටය.

සී. එස්. ලුවිස් තවත් පියවරක් ඉදිරියට තැබුවේය .

“අප තනිව නැති බව දැනගැනීමට අපි කියවන්නෙමු.”

ජීවිතයේ යම් අවස්ථාවක අප සැවොම තනිකම අත්විඳිමු.

අපේ සිතුවිලි කිසිවෙකුට නොතේරෙන බව සිතෙන අවස්ථා ඇත.

එවිට අවුරුදු සිය ගණනකට පෙර ජීවත් වූ ලේඛකයෙකුගේ වචන හමුවෙයි.

ඔහුත් එම බියම අත්විඳ ඇත.

එම බලාපොරොත්තුවම දරාගෙන ඇත.

එවිට අපට දැනෙන්නේ:

“මම තනි නැහැ.” යන්නයි

ජෝර්ජ් ආර්. ආර්. මාටින් පොත්වල ඇති තවත් මායාවක් ගැන කීවේය.

“පාඨකයෙකු මිය යාමට පෙර ජීවිත දහසක් ජීවත් වෙයි.”

අපට එක් ජීවිතයක් පමණක් ලැබී ඇත.

නමුත් පොත් නිසා අපි මුහුදු ගවේෂකයන් වෙමු.

අපි රහස් පරීක්ෂකයන් වෙමු.

අපි රජවරුන් වෙමු.

අපි ගුරුවරුන්, සොල්දාදුවන්, විද්‍යාඥයන්, සංචාරකයන් වෙමු.

එක් ජීවිතයක් වෙනුවට ජීවිත දහසක්.

ඒ නිසාම අර්නස්ට් හෙමිංවේ මෙසේ ලියා තිබුණි.

“පොතක් තරම් විශ්වාසවන්ත මිතුරෙකු තවත් නැත.”

මිතුරන් පැමිණෙති.

ඔවුන් නික්ම යති.

නගර වෙනස් වෙයි.

රැකියා වෙනස් වෙයි.

නමුත් ඔබ විසි අවුරුදු වියෙහි ආදරය කළ පොතක් අවුරුදු හැටේදී නැවත විවෘත කළහොත්, එය තවමත් ඔබව පිළිගනී.

එය ඔබ එනතුරු බලා සිටියි.

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *