Enjoy free shipping on orders above Rs.3,000! Delivery takes 2-5 working days within Sri Lanka.

අනයිස් නින්: ආශාව, සිහිනය සහ කාන්තා  ලෝකයේ සැඟවුණු අහුමුළු

අනයිස් නින් ලියා ඇත්තේ කාන්තා  ලෝකයේ ඇතුළු හදවතයි .

1903 දී ප්‍රංශයේ උපත ලැබූ Anaïs Nin ස්පාඤ්ඤ-කියුබානු පියෙකු සහ ප්‍රංශ මවකගේ දියණියකි. ඇයගේ ළමා වියේදී පියා පවුල හැර යාම ඇයගේ ජීවිතයට ගැඹුරු බලපෑමක් කළේය. එම අහිමිවීම, ආදරය සෙවීම, සම්බන්ධතා සහ අභ්‍යන්තර ආශාවන් පිළිබඳ සොයා බැලීමට  පෙළඹ වීමක් විය .

ලෝක සාහිත්‍යයේ අනයිස් නින් ප්‍රසිද්ධ වන්නේ ඇයගේ දිනපොත් නිසාය. වයස අවුරුදු 11 දී ලියන්නට පටන් ගත් දිනපොත් පසුව ලෝකයේ ප්‍රසිද්ධම සාහිත්‍ය දිනපොත් අතරට එක් විය. ඒවා කියවන විට දැනෙන්නේ ලේඛිකාවක් ගේ  දිග හැරුමක්  නොව, තමන්ගේම හදවත සමඟ කතා කරන කාන්තාවක් සිහින් හඬින් හමුවනවා වැනිය.

අනයිස් නින්ගේ විශේෂත්වය වූයේ ලිංගිකත්වය ගැන ලිවීම පමණක් නොවේ. ඇය උත්සාහ කළේ මිනිසුන් ආදරය සොයන්නේ ඇයි, ඔවුන්ගේ සිහින කොතැනින් පැමිණෙන්නේ ඇයි, සහ හදවතේ සැඟවුණු බිය හා ආශාවන් ජීවිතය හැඩගස්වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ගත් උත්සහයයි .

ඇයගේ ප්‍රසිද්ධ කෘතියක් වන House of Incest සිහිනයක් වැනිය. චරිත, මතකයන් සහ හැඟීම් එකිනෙක තුළ දියවෙමින් යන අභ්‍යන්තර ගමනකි. පාඨකයාට සිදුවීම් වලට වඩා හැඟීම් අත්විඳීමට ආරාධනය කෙරේ .

තවත් ප්‍රසිද්ධ කෘතියක් වන Delta of Venus හිදී ඇය මිනිස් ආශාවන්ගේ විවිධ ස්වරූප විමර්ශනය කරයි. එහෙත් එය හුදෙක් කායික ආශාව ගැන නොවේ. එය මිනිසුන් එකිනෙකා වෙත ඇදී යන අමුතු බලවේග ගැනයි.

අනයිස් නින් ගැන කතා කරන විට බොහෝ විචාරකයන් සඳහන් කරන්නේ ඇය “කාන්තා අභ්‍යන්තර ලෝකයට හඬක් දුන් ලේඛිකාව” බවයි. ඇයට පෙර බොහෝ සාහිත්‍ය කෘති කාන්තාවන් ගැන ලියූයේ පිරිමි ඇසින්ය. අනයිස් නින් උත්සාහ කළේ කාන්තාවන්ගේ සිතුවිලි, බිය, ආශාවන් සහ අභ්‍යන්තර සංවාද ඔවුන්ගේම හඬින් ලියා දැක්වීමටය.

අදත් ඇය කියවන්නේ ඇය ලිංගිකත්වය ගැන ලියා ඇති නිසා පමණක් නොවේ. ඇය මිනිස් හදවතේ රහස් ගැන ලියා ඇති නිසාය.

අනයිස් නින්ගේ පිටු අතරින් අපට හමුවන්නේ වීරයන් නොවේ. අපට හමුවන්නේ අපමය—අපගේ බිය, අපගේ සිහින, අපගේ අහිමිවීම් සහ අපගේ ආශාවන්ය.

ඒ නිසාම ඇයගේ සාහිත්‍යය කියවා අවසන් වූ පසුවත්, කතාවට වඩා දිගු කලක් මතකයේ රැඳෙන්නේ ඇය අපෙන් අසන ප්‍රශ්නයයි:

ඔබ ඇත්තටම ඔබේ අභ්‍යන්තර ලෝකය දන්නවාද ?

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *