Enjoy free shipping on orders on or above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

එමා බොවාරි හමුවූ රාත්‍රිය

මගේ තරුණ වියේදී මට එමා බොවාරි හමුවුණේ සිරිල් සී. පෙරේරාගේ සිංහල පරිවර්තනයෙන්. එදා සිට දශක ගණනාවක් පුරා ගුස්ටාව් ෆ්ලෝබෙර් යනු මගේ සිතේ නිතරම සරිසරූ ලේඛකයෙකි.

ඔහු නිර්මාණය කළේ ක හටත් පහසුවෙන් විනිශ්චය කළ නොහැකි කාන්තාවකි.

ඇය වැරදිද?

නැත්නම් ඇය තම කාලයට වඩා ඉදිරියෙන් සිහින දුටු කාන්තාවක්ද?

හැම වතාවකම පොත වසා දැමුවේ පිළිතුරක් නොව, තවත් ප්‍රශ්න කිහිපයක් රැගෙනය.

වසර ගණනාවකට පසුවත් එමා මගේ සිතෙන් ඉවත් වූයේ නැත.

එක් රාත්‍රියක ඒ වනවිට කීප වතාවක් කියවා තිබු Madame Bovary පිටු කිහිපයක් නැවත නිදා ගතිමි .

ඒ මා එමා හමුවූ රාත්‍රියයි .

සිහිනයක.

ඇය නිහඬව මගේ ඉදිරියේ සිටියාය.

“ඔබත් මාව විනිශ්චය කරන්නද හදන්නේ?” යැයි ඇය ඇසුවාය.

“නැහැ,” මම කීවෙමි.

“මම ඔබව තේරුම් ගන්නයි හදන්නේ ”

ඇය සිනහවුණාය.

“ඒක තමයි බොහෝ දෙනා නොකළේ.”

“ඔවුන් මගේ ක්‍රියාවන් විනිශ්චය කළා. මගේ හදවත කියවන්න උත්සාහ කළේ නැහැ.”

“ඔබේ ලොකුම වැරැද්ද මොකක්ද?” මම ඇසුවෙමි.

ඇය ටික වේලාවක් නිහඬව සිටියාය.

“මට ජීවිතය නවකතාවල වගේ සුන්දර එකක් වේවි කියලා හිතුනා ”

“ආදරය කියන්නේ සෑම දිනකම ගින්දර වගේ දීප්තිමත්ව පුපුරු ගහන දෙයක් කියලා මම හිතුවා.”

“සාමාන්‍ය ජීවිතය ලස්සන වෙන්න පුළුවන් කියන එක මට ඉගෙනගන්න බැරි වුණා.”

මගෙන් තවත් ප්‍රශ්නයක් .

“ඔබ ආත්මාර්ථකාමීද?”

“ඔව්…” ඇගෙන් ක්ෂණික පිළිතුරක් සමග පැහැදිලි කිරීමක් .

“ඒත් මම ආත්මාර්ථකාමී වෙන්න ඉපදුණේ නැහැ.”

“මම සතුට හොයන්න ගියා. ඒ ගමනේදී අනිත් අයට වේදනාව දුන්නා.”

“ඔබ බොරුකාරියක්ද?”

ඇය හිස සෙලවුවාය.

“නැහැ.”

“නමුත් මම මගේම සිහිනවලට රැවටුණා.”

ඒ වාක්‍යය ඇසූ විට මට ෆ්ලෝබෙර්ගේ විශිෂ්ටත්වය වැටහුණි.

ඔහු අපට දුන්නේ දේවතාවියක් නොවේ.

දුෂ්ට කාන්තාවක්ද නොවේ.

ඔහු නිර්මාණය කළේ මනුෂ්‍යයෙක්.

බුද්ධිමත්.

නමුත් තමන්ම තමන් රවටාගත් කෙනෙක්.

ආදරය සොයා දිවගිය කාන්තාවක් .

නමුත් ඒ ගමනේදී අන් අයගේ ජීවිතද බිඳ දැමූ ගැහැනියක් .

අනුකම්පා කළ හැකි ගැහැනියක් .

නමුත් ගැඹුරු දෝෂවලින් පිරුණු කෙනෙක්.

මා එමා ගැන හිතුවේ 19 වැනි සියවසේ ප්‍රංශයේ ජීවත් වූ කාන්තාවක් ලෙසයි.

නමුත් ඒ සිහින රාත්‍රියෙන් අනතුරුව එහෙම හිතෙන්නේ නැහැ.

අදත් අපි බොහෝ දෙනෙක් අන් අයගේ පරිපූර්ණ ජීවිත දෙස බලාගෙන අපේ ජීවිතය මනිමු.

අපිත් අපේම සිහිනවලට රැවටෙමු.

අපිත් සැබෑ ජීවිතයට වඩා ජීවිතය ගැන මවාගත් රූපයට ආදරය කරන අවස්ථා තිබේ.

ඒ නිසාම එමා බොවාරි තවමත් මියගොස් නැත.

ඇය පොතේ පිටු අතර නොවෙයි.

අපේ සිත්වල ජීවත් වෙයි.

එමා බොවාරි කවුද?

එමා බොවාරි යනු ප්‍රංශ ලේඛක ගුස්ටාව් ෆ්ලෝබෙර් 1856 දී ලියූ Madame Bovary නවකතාවේ ප්‍රධාන චරිතයයි.

ගමේ වෛද්‍යවරයකු වන චාල්ස් බොවාරි සමඟ විවාහ වන එමා, ආදරය, විලාසිතා, ධනය සහ උද්යෝගයෙන් පිරුණු ජීවිතයක් සිහින දකියි. එහෙත් ඇයට ලැබෙන්නේ සාමාන්‍ය පළාත් ජීවිතයක ඒකාකාරී බවයි.

ඒ හිස්තැන පුරවන්න ඇය අනියම් සබඳතාවල පහස පතයි , අධික ලෙස වියදම් කර ණය බරට වැටෙයි. අවසානයේ ජීවිතය බිඳ වැටෙන විට ඇය වස පානය කර සියදිවි නසාගනියි.

නමුත් මේ නවකතාව ප්‍රේම කතාවක් හෝ අනියම් සබඳතා පිළිබඳ කතාවක් පමණක් නොවේ.

එය අප සියල්ලන්ම අසන ප්‍රශ්නයක් ගැනයි.

“අප දකින සිහින ලෝකයත් සැබවින්ම අත් විඳින ජීවිතයත් අතර පරතරය කොපමණද?”

ඒ ප්‍රශ්නය අදත් ජීවමාන නිසාම Madame Bovary ලෝක සාහිත්‍යයේ අමරණීය නවකතාවක් ලෙස තවමත් කියවෙයි.

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *