Enjoy free shipping on orders above Rs.3,000! Delivery takes 2-5 working days within Sri Lanka.

චිනුවා අචෙබේ: අප්‍රිකානු සොහොයුරා

වසර ගණනාවකට පෙර බොස්ටන් නගරයේ පැවැත්වූ ආසියානු අප්‍රිකානු හා ලතින් ඇමරිකනු මිත්‍රත්ව සමුළුව ඇමතු චිනුවා අචෙබේ කියා සිටියේ විජිතවාදීන් අපේ සිත අක්‍රමණය කල් අතර ඉන් අනතුරුව අපේ පාලකයින් අතට අසුවූ සියල්ල තම ග්‍රහණයට ගත් බවයි .

නිදහසින් පසුව අපේ රට පාලනය කළ අපේ කට්ටිය ගැන හිතන විට අචෙබේ නගන්නේ අපේ හිතේ තෙරපෙන සිතුවිලි නොවේද ?

නයිජීරියාවේ දුර බැහැර ඉග්බෝ ගම්මානයකින් ආරම්භ වූ ඔහුගේ ගමන ලෝක සාහිත්‍යයේ බොහෝ ඉසව් කර විහිදී ගිය එකක් විය . මට ඔහු අලුත් කෙනෙකු නොවීය. ඔහුව මම මීට පෙර කොළඹ පොත්හල්වලදී බොහෝ වරක් හමුවී තිබුණෙමි. ඒ ඔහුගේ පොත් පිටු අතරිනි. ආරියදාස සෝමතිලක පරිවර්තනය කළ මුහුද ගොඩ ගලයි මට අචෙබේ හමු වූ මුල් මොහොත විය

අචෙබේ කතා කළේ නිහඬවය. එහෙත් ඔහුගේ වචනවල බර තිබුණි. ඔහු මට මතක් කළේ අප්‍රිකාව ගැන පමණක් නොවේ. යටත් විජිත අතීතය, සංස්කෘතික ගැටුම්, දේශපාලන බලය සහ අනන්‍යතාව පිළිබඳ ඔහුගේ අදහස් ශ්‍රී ලංකාවේ අපටද අතිශයින් හුරුපුරුදු විය.

චිනුවා අචෙබේ (1930–2013) නූතන අප්‍රිකානු සාහිත්‍යයේ ආරම්භක පියා ලෙස සැලකේ. හාවඩ් විශ්වවිද්‍යාලයේ දාර්ශනික කේ. ඇන්තනි අප්පියා ඔහුව හැඳින්වූයේ “අප්‍රිකානු සාහිත්‍යයේ ආරම්භක පියා” ලෙසය. නයිජීරියාවේ ඔගිඩි නගරයේ උපත ලැබූ අචෙබේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූවත්, ඉග්බෝ සංස්කෘතියේ සම්ප්‍රදායන් තුළ හැදී වැඩුණි. මෙම ද්විත්ව අත්දැකීම ඔහුගේ මුළු ලේඛන ජීවිතයම හැඩගැස්වීය.

අචෙබේගේ විශාලම කණගාටුවක් වූයේ බටහිර ලේඛකයන් අප්‍රිකාව නිරූපණය කළ ආකාරයයි. බොහෝ යුරෝපීය කෘතිවල අප්‍රිකාව දක්වා තිබුණේ අඳුරු, ප්‍රාථමික, ඉතිහාසයක් නොමැති භූමියක් ලෙසය. ජෝසෆ් කොන්රාඩ්ගේ Heart of Darkness පිළිබඳ ඔහුගේ විවේචනය ප්‍රසිද්ධය. අචෙබේගේ අදහස වූයේ අප්‍රිකාව ගැන කතාව අප්‍රිකානුවන්ම පැවසිය යුතු බවයි.

1958 දී ප්‍රකාශයට පත් වූ Things Fall Apart නවකතාව මේ අරමුණේ ප්‍රථම සහ විශාලතම ප්‍රකාශනය විය. මෙම කෘතිය අප්‍රිකානු සාහිත්‍යයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්විය. එය ඉබෝ සමාජයේ පොහොසත් සංස්කෘතිය, යටත් විජිත බලපෑම සහ මිෂනාරි ක්‍රියාකාරකම් නිසා සිදු වූ සමාජ බිඳවැටීම අප්‍රිකානු දෘෂ්ටිකෝණයකින් ලෝකයට ඉදිරිපත් කළේය.

අචෙබේගේ කෘති අතර Things Fall Apart, No Longer at Ease, Arrow of God, A Man of the People සහ Anthills of the Savannah විශේෂ ස්ථානයක් ගනී. මෙම කෘතිවල ඔහු යටත් විජිතවාදය, සංස්කෘතික ගැටුම්, පශ්චාත්-නිදහස් දූෂණය, දේශපාලන බලය සහ අනන්‍යතාව පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරයි.

විශේෂයෙන් No Longer at Ease නවකතාවේ, බටහිර අධ්‍යාපනය ලැබූ නයිජීරියානු තරුණයෙකු තම සංස්කෘතිය සහ යටත් විජිත උරුමය අතර සිරවී යන ආකාරය නිරූපණය වේ. A Man of the People දේශපාලන දූෂණය පිළිබඳ උපහාසාත්මක නවකතාවක් වන අතර, එය කියවන විට ශ්‍රී ලංකාවේ පාඨකයෙකුටද බොහෝ චරිත හුරුපුරුදු බවක් දැනෙනු ඇත.

අචෙබේගේ ලේඛනවල විශාලතම ශක්තිය වූයේ ඔහු අප්‍රිකාව ලෝක සාහිත්‍යයේ කේන්ද්‍රයට ගෙන ඒමයි. 1958 ට පෙර අප්‍රිකානු සාහිත්‍යයක් පිළිබඳ ලෝක අවධානය ඉතා සීමිත විය. අචෙබේ එම තත්ත්වය වෙනස් කළේය. ඔහු අප්‍රිකාව ගැන ලිව්වේය. එහෙත් ඔහුගේ සැබෑ විෂය වූයේ මිනිසුන්ගේ ලෝකය වෙනස් වන විට සිදුවන දේය.

2013 මාර්තු 21 දින බොස්ටන් නගරයේදී අචෙබේ අභාවප්‍රාප්ත විය. එහෙත් ඔහුගේ කෘති තවමත් ඇතුළු හදට කොඳුරයි . ඒවා අප්‍රිකාව ගැන පමණක් නොව, යටත් විජිත අතීතයක් සහිත සෑම සමාජයක් ගැනම කතා කරයි. ඒ නිසාම චිනුවා අචෙබේ නයිජීරියාවේ පමණක් නොව, ශ්‍රී ලංකාව වැනි රටවල පාඨක අපගේත් ඥාති සොහොයුරෙකි .

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *